2016 ඔක්තෝබර් 24 වන සඳුදා

ගොවීන්ට ඇයි මේ හිරිහැර

 2016 ඔක්තෝබර් 24 වන සඳුදා, පෙ.ව. 12:00 103

දඹුල්ලේ ලූනු ගොවීන්ගේ උද්ඝෝෂණ මේ රටේ දින දර්ශනයේ සඳහන් වාර්ෂික සිදුවීමක් තරමට සාමාන්‍යකරණය වෙමින් තිබේ. ලොකු ලූනු වගාවේ අස්වනු නෙළීම ආරම්භ වී ඇතැයි යන ප්‍රවෘත්තිය සමඟ ඊළඟට අසන්නට ලැබෙන්නේ ලූනු ගොවීන් මහපාරවල් වසාගෙන ටයර් පුළුස්සමින් උද්ඝෝෂණය කරන බවය. මීට දින කීපයකට ඉහතදීත් දඹුල්ල සහ ඒ අවට ලොකු ලූනු ගොවීන් මහපාර පමණක් නොව ආර්ථික මධ්‍යස්ථානයද වසා දමමින් උද්ඝෝෂණයක නිරතව සිටි බව මේ රටේ සියලුදෙනාට මාධ්‍ය හරහා දැකගත හැකි විය.


ලොකු ලූනු ගොවීන් පාරට බැසීමට හේතුවන කාරණා ගණනාවකි. ඒ අතුරින් ඊයේ පෙරේදා උද්ඝෝෂණයට හේතු වී තිබුණේ තම අස්වැන්නට සාධාරණ අවම මිලක් ලබාදෙන ලෙස කරන ඉල්ලීමකි. ඔවුන් ඉල්ලන්නේ තමන්ට ලූනු කිලෝවකට රැපියල් 100ක අවම මිලක් ලබාදෙන ලෙසටය. මේ දිනවල තම ලූනු අස්වැන්නට ලැබෙන්නේ රැපියල් 40 සිට 60 දක්වා වන අඩු මිලක් බව ඔවුහු පවසති. ඔවුන් පවසන්නේ තමන්ගේ ලූනු ඒ මිලට හෝ අලෙවි නොවන බවය. මේ නිසා තම නිෂ්පාදන වියදම හැර ලාබයක් ලබාගැනීමට හැකි වන සේ රැපියල් 100ක අවම මිලක් ලැබිය යුතු බව මුළු රටටම ඇසෙන්නට කෑගසමින් ටයර් ගිනි තබමින් ඔවුහු කියති.


මේ රටේ වගා කෙරෙන සෑම කෘෂි නිපැයුමකටම අවම මිලක් නියම කෙරෙන්නේ නම් යහපත් යැයි අපි කියමු. ඒ අතින් ලූනු ගොවීන්ගේ ඉල්ලීම සාධාරණය. නමුත් ඔවුන් උද්ඝෝෂණය කරද්දී පාර වසා දැමීම, ටයර් ගිනි තැබීම, වෙළෙඳ මධ්‍යස්ථානය වසා දමන්නැයි බලපෑම් කිරීම සහ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙමින් වාහනවලට පහරදීම වැනි සිද්ධීන් නම් අනුමත නොකරන බවත් ඒ සමඟ කිව යුතුය. එය වෙනම කතාවකි. නමුත් ගොවිපොළේ සිටිය යුතු ලූනු ගොවීන් මහපාරේ ඉන්නේ ඇයිදැයි යන්න කාගේත් අවධානය යොමු විය යුතු ලොකු ගැටලුවකි.


ලූනු ගොවීන් පමණක් නොවේ. සෙසු ගොවීන් සම්බන්ධයෙන් පවතින තත්ත්වයේද වෙනසක් නැත. වී ගොවීන් තම අස්වැන්න කපා පාගා ගැනීමෙන් පසුව යා යුත්තේ වෙළෙඳපොළටය. නමුත් පසුගිය වසර කීපය පුරාම අප දුටුවේ හොඳ අස්වැන්නක් ලබාගත් ගොවීන් පාරට බැස උද්ඝෝෂණය කරන බවයි. ඔවුන් ටයර් වෙනුවට තම වී ගෝනිවලට ගිනි තැබුවත් ඉල්ලීම වනුයේ තමන්ටද සාධාරණ මිලක් ලැබිය යුතු බවය. සහතික මිලක් රජයෙන් නියම කර තිබුණද ඒ මිලට වී මිලට ගන්නේ සුළු ප්‍රමාණයක් පමණක් බවත් වී ගොවියෝ කියති.


වී ගොවීන්, ලූනු ගොවීන් පමණක් නොව එළවළු ඇතුළු සෙසු බෝග වර්ග වවන ගොවීන්ට ඇත්තේද මේ දුක්ගැනවිල්ලමය. ඇතැම් විට අල සහ කිරි ගොවීහුද මේ දුකම විඳිති. කාලෙන් කාලෙට ගොවීන් විසින් සිදුකරන මෙවැනි උද්ඝෝෂණවලට සැමවිටම බලයේ සිටින ආණ්ඩුවලින් ලැබුණේම පැලැස්තර විසඳුම් බව කනගාටුවෙන් වුවද කිවයුතුව තිබේ. මේ රජයද ඊට දෙවැනි නැත. සියයකට ආසන්න අමාත්‍යවරැ, රාජ්‍ය අමාත්‍යවරැ, නියෝජ්‍ය අමාත්‍යවරැ සිටියද ගොවීන්ගේ දුක් ගැනැවිලිවලට සවන් දීමට ඒ කිසිදු අමාත්‍යවරයකුට වෙලාවක් නැති බව පෙනෙන්නට තිබේ.


ගොවීන්ගේ අස්වනු විකුණාගැනීම මහපාරේ අරගලයක් බවට පත්ව තිබෙන්නේ ඇයිද යන්න සොයාබලා එයට සුදුසු නිසි පිළියම් යෙදීම අද යුගයේ අවශ්‍යතාවක් බව අපගේ හැඟීමය. හැම කන්නයකදීම මෙවැනි ගැටලු උද්ගතවීම කිසිම ආණ්ඩුවක &සෞඛ්‍යයට* හොඳ නැත. කෘෂිකාර්මික රටක් වශයෙන් හඳුන්වා ගැනීම පමණක් ප්‍රමාණවත් නොවේ. ඊට ගැලපෙන සේ පසුබිම සකස් කරගැනීමද අවශ්‍යය. එසේ නොවූවොත් දැනටම ක්ෂය වෙමින් පවතින කෘෂිකාර්මික පවුල් ඉතා ඉක්මණින් ලොකු සෝදා යාමකට ලක්වී අල, ලූනු පමණක් නොව ඒ සමඟ ගොවීන්ද ආනයනය කිරීමට සිදුවනු ඇත.


එසේ නොවන්නට නම් අප සැබෑ යථාර්ථයට මුහුණ දිය යුතුය. නිදහස ලබා වසර 70කට ආසන්න වෙමින් සිටින, කෘෂිකාර්මික යැයි හඳුන්වාගන්න රටක තම නිෂ්පාදනවල අතිරික්තයක් ඇතිවිට ඒවා කල්තබා ගැනීමේ පහසුකම් තවම පවතින්නේ ඉතාම අවම මට්ටමක බව පැවසීමට සිදුවීම පවා අවාසනාවකි. වී සම්බන්ධයෙන් කතා කරන විට අතිරික්ත වී සඳහා ගබඩා පහසුකම් ඇත්තේ අවම මට්ටමක බව පැවැසීම රහසක් නොවේ. එය ප්‍රසිද්ධ රහසක් බවට පත්වූයේ මත්තල ගුවන්තොටුපළ ගබඩාවක්ද වී ගබඩා කිරීමට යොදවා ගැනීමෙනි. නමුත් ගැටලුව විසඳී නැත. ඊළඟ මහ කන්නයේද අතිරික්ත වී අස්වැන්නක් ලැබුණොත් දෙවියන්ගේ පිහිටමය.


ලූනු, එළවළු, අල, වැනි නිෂ්පාදන සම්බන්ධයෙන්ද තත්ත්වය එසේමය. සියල්ල තාක්ෂණික වශයෙන් දියුණු වෙමින් පවතින ලෝකයක අපේ රටට අවශ්‍ය ශීතාගාර සහ ගබඩා පහසුකම් සපයාගන්නට නොහැකි වීම සම්බන්ධයෙන් සෙසු රටවලට ඇඟිල්ල දිගු කිරීම පළක් නැත. එළවළු සහ ලූනු දිගුකලක් තබාගැනීම සඳහා නවීන තාක්ෂණික උපක්‍රම සහිත ශීතාගාර සහ ගබඩා පහසුකම් ඇති කිරීමට උදව් ගත හැකි ජාත්‍යන්තර අරමුදල්, බැංකු සහ ආයතන ඕනෑතරම් සොයාගත හැකිය. ඒ සඳහා අවශ්‍ය වන්නේ වී, එළවළු සහ ලූනු වැනි කෘෂිකාර්මික නිෂ්පාදන සම්බන්ධයෙන් නිවැරුදි ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කිරීම පමණි. ගොවීන්ට අවම මිලක් හෝ සහතික මිලක් හෝ ලබාදීම නොව සිදුවිය යුත්තේ ස්ථාවර මිලක් ලබාදීමය. එවිට ගොවියාද ගොඩය. පාරිභෝගිකයාද ගොඩය. රටටද හොඳය. එසේ වීමට නම් ප්‍රමාණවත් ගබඩා පහසුකම් තිබීම අත්‍යවශ්‍ය සාධකයකි.


ඇත්ත වශයෙන්ම මෙතරම් කලක් ගතවීත් අවශ්‍ය තරම් ගබඩා පහසුකම් නොතිබීම ගැන අප රටක් වශයෙන් ලජ්ජා විය යුතුය. මහා පරිමාණ යෝජනා ක්‍රම අවශ්‍ය නැතැයි අපි නොකියමු. එහෙත් රටට බත, එළවළුව, ලූනු ගෙඩිය, අල ගෙඩිය සපයන ගොවියා අමතක කර ඔවුන් හැම කන්නයකදීම පාරට බස්සන තැනට වැඩ කිරීම කිසිදු රජයකට සදාචාරාත්මක අයිතියක් නැත. තවදුරටත් පමා නොකොට උක්ත කාරණය සම්බන්ධයෙන් කල් පවතින විසඳුමක් ලබාදීම අවශ්‍ය බව සඳහන් කරමු.